සිංහල දෙමළ යුනීකෝඩ්

   ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය සිංහල හා දෙමළ භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිතාවේදී අවශ්‍ය වන ප‍්‍රමිති ප‍්‍රවර්ධනය  කරමින් අක්‍ෂර මාලා, යතුරු පුවරු, සම්මත සුබෙදුම් අනුපිළිවෙල ආදී කරුණු ගැන අවධානය යොමු කර තිබේ. මෙම කටයුතු වල අරමුණ වී ඇත්තේ සිංහල හා දෙමළ භාෂාවලින් මෙම තාක්‍ෂණය යොදාගැනීමට කැමති ශ්‍රී ලාංකික ජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප‍්‍රයෝජන ලබාගැනීම සහතික කිරීමයි.
කොරියාව හා තයිලන්තය වැනි ආසියානු කලාපයේ බොහෝ රටවල ජනතාවට ඔවුන්ගේ දේශිය බසින් පරිගණක කටයුතු කිරීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ රටවල බොහෝ දෙනෙක් ඉංග‍්‍රිසි  නොදන්නා හෙයින් ඔවුන්ගේ කැමැත්ත අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂගණය භාවිතයට ගැනීමේදී සිංහලෙන් හෝ දෙමළෙන් එම කටයුතු කිරීමේ ඉඩ ලබා දිය යුතු වේ. ඉංග‍්‍රිසි ඉගෙනීම අත්‍යවශ්‍ය දෙයක් වුව ද පරිගණක කටයුතු ඇතුළු සියල්ලේදීම තමන්ගේ භාෂාවෙන් ඒවා කිරීමට පහසුකම් ලබා දිය යුතු වේ.
පරිගණක කටයුතු වලට ජාතික භාෂා යොදාගැනීම ආරම්භ වු මුල් කාලයේ ඒවා පිළිබඳ කිසිම ප‍්‍රමිතියක් නොතිබුණි. විවිධ යෙදවුම් සඳහා විවිධ අක්‍ෂර මාලා භාවිතයට ගත් අතර එම යෙදවුම් වලට ප‍්‍රවේශ වීමට හැකි වූයේ ඊට අදාළ අක්‍ෂර මාලාවම පරිගණකය සතුව තිබෙන්නේ නම් පමණි. කෙනෙක් විසින් තනන ලද ලේඛනයක් වෙනත් යෙදුමක් හෝ අක්ෂර මාලවක් තුළින් භාවිතවට ගැනීමේදී විශාල ගැටළු මතු වුණි. ලේඛනය ලබන තැනැත්තා සතුව එම අක්ෂර මාලාව නොමැතිනම් ලේඛණය සමග අක්ෂර මාලාව ද යැවීමට සිදු විය. මේ නිසා සිංහලෙන් ඉ-මේල් භාවිතය දුෂ්කර වු අතර අන්තර්ජාලය තුළ සිංහල භාවිතයද ඉතා මන්දගාමී විය. සිංහල හා දෙමළ භාෂා වලින් සුබෙදීම වැනි ක්‍රියාකාරකම්  ද සම්මත ආකාරයට සිදු නොවිනි.
සිංහල හෝ දෙමළ පමණක් දන්නා පුද්ගලයකුට අන්තර්ජාලය භාවිතයට ගත හැක්කේ ඒ තුළ දේශිය භාෂා සහය සබල කර ඇත්නම් හා පරිශීලකයා උන්නදු වන කරුණු පිළිබඳ අන්තර්ගතයන් දේශීය භාෂා වලින් ලබාගත හැකිනම් පමණි.


දැන්.....


    අපට දැන් පරිගණක භාවිතයේදී සිංහලෙන් හෝ දෙම‍ළෙන් ටයිප් කිරීමට මෙන්ම තොරතුරු හුවමාරු කරගැනීමටද හැකි වේ. විවිධ අක්ෂර මාලා බාගත කරගැනීමකින් තොරව සිංහල හා දෙමළ භාෂාවෙන් අන්තර්ජාලය පිරික්සීමට පුළුවන. ඉ-මේල් යැවීමේදී අක්ෂර මාලා යැවීම තවදුරටත් අවශ්‍ය නොවේ. මේ සියල්ල අද සාර්ථක වී ඇත්තේ පහත දැක්වෙන පියවර හේතු කොටගෙනය.

විවිධ අසම්මත ක්‍රම නිසා ඇතිව තිබු අවුල විසඳිමේ මග වුයේ ප්‍රමිතිකරණයයි. භාෂාව කුමක් වුවත් ක්‍රමලේඛය කුමක් වුවත් ඒවා ක්‍රියාත්මක වන පසුබිම කුමක් වුවත් යුනිකෝඩ් නම් අන්තර්ජාතික ප්‍රමිතිය සෑම අනු-ලකුණකටම අනූපම සංකේතයක් සපයයි.
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියොජිතායතනය,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාතනය, මොරටුව විශ්ව විද්‍යාලය සමග එක්ව කේතනය හා යතුරු පුවරු පිරිසැලසුම ඇතුළත් ප්‍රමිති දෙකක් සකස් කිරීමට පියවර ගත්තේය.තොරතුරු හුවමාරුව සඳහා සිංහල අක්ෂර කේතය පිළිබඳ      ශ්‍රී ලංකා ප්‍රමිතිය,SLS 1134:2004 හා තොරතුරු හුවමාරුව සඳහා දෙමළ අක්ෂර කේතය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය,SLS 1326:2008 දැන් ශ්‍රී ලංකා ප්‍රමිති වන අතර මේ දෙකම යුනිකෝඩ් අනුකූල වේ.
පරිගණක තුළ අක්ෂර ගබඩා කළ යුතු ආකාරය මෙම ප්රරමිති වල දී තිබේ. මේ අනුව එකම ලේඛනයේ වුවද සිංහල දෙමළ හා ඉංග්‍රීසි අක්ෂර ඇතුළත් විය හැක.
 ශ්‍රී ලංකා ප්‍රමිති වලට අනුකූලව පරිගණක භාවිතා කිරීමට අවශ්‍ය මෘදුකාංග පිළියෙල කර තිබේ.යතුරු පුවරු ධාවක හා ආදාන කිරිම ඇතුළත් වන මෙම මෘදුකාංග භාවිතයෙන් වින්ඩෝස් හෝ ලිනක්ස් පසුබිම මත සිංහල හා දෙමළ සඳහා සම්මත වු යතුරු පුවරු පිරිසැලසුම් යොදාගත හැකි වේ.
• ශ්‍රී ලංකා ප්‍රමිති1134:2004 ට අනුකූලව සිංහල අක්ෂර මාලා දියුණු කිරීමට නියෝජිතායතනය මූලිකත්වය ගත්තේය. සම්මත සිංහල අක්ෂර මාලා යතුරු පුවරු ධාවකය හා ස්ථාපන උපදෙස් අඩංගු සිංහල කට්ටලයක් නිපදවන ලද අතර එය www.locallanguages.lk වේබ් අඩවියෙන් ලබාගැනීමට පහසුකම් සලස්වන ලදී. පරිගණක කේෂත්‍රයේ නියතු වෙනත් අයද මින් අනතුරුව යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූලව අක්ෂර මාලා නිපදවූහ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂමණ නියොජිතායතනය මගින්ද භාෂිත නම් අලුත් අක්ෂර මාලාවක් මෑතකදී ඉදිරිපත් කරන ලදී. ප්‍රමිතිය මත පදනම් වූ දෙමළ අක්ෂර මාලා දියුණු කිරීමේ ව්‍යාපෘතියක්ද ළඟදීම ඇරඹෙනු ඇත.
උසස් තත්වයේ කලාත්මක සිංහල හා දෙමළ අක්ෂර මාලා ප්‍රමිතියට අනුකූලව දියුණු කිරීම පිළිබඳ දැනුම ලබා දීමට අක්ෂර මාලා නිර්මාපක‍යන් පුහුණු කිරීමේ වැඩස‍ටහනක් ද ක්‍රියාත්මක වේ.
සිංහල හා දෙමළ සඳහා සුබෙදීමේ අනුපිළිවෙල තීරණය කිරීම වැදගත් කරුණක් විය.දත්ත සමුදාය හා අනෙකුත් තොරතුරු ලැයිස්තු සෑදීමේදී සුබෙදුම් අනුපිළිවෙලක් අවශ්‍ය වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාතනය මගින් සකස් කළ සිංහල සඳහා වු සුබෙදුම් අනුපිළිවෙල ශ්‍රී ලංකා ප්‍රමිතියක් ලෙස අනුමත කරන ලදී. මෙය ශ්‍රී ලංකා ප්‍රමිති 1134 :2004 1 කොටස ලෙස දැන් ලබාගත හැක. දෙමළ සුබෙදුම් අනුපිළිවෙල ශ්‍රී ලංකා ප්‍රමිති 1326:2008 1 කොටස ලෙස ප්‍රමිතිගත වී තිබේ.
• ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂ ණ නියොජිතායතනයේ පූර්වගාමිකයා වු සින්ටෙක් ආයතනය, රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාතනය, මොරටුව විශ්ව විද්‍යාලය හා පෞද්ගලික අංශය එක්ව පසුගිය වසර කිහිපය තුළ තොරතුරු තාක්ෂ ණය පිළිබඳ සිංහල හා දෙමළ ශබ්ද මාලා පිළියෙල කර යාවත්කාලීන කර තිබේ. ‍
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාතනය එහි භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මගින් දේශියකරණය පිළිබඳ වැදගත් පියවර ගණනාවක් ගෙන තිබේ. මේ අතර සිංහල වචන මිලියන දහයක සංග්‍රහයක් ගොඩනැගීම, වාණිජ මට්ටමේ ප්‍රකාශ අනුලකුණු හඳුනාගැනීමේ පද්ධති නිර්මාණය කිරීම, පෙළ කථනයට හැරවීම හා සිංහල වාග් කෝෂයක් නිර්මාණය කිරීම ආදිය ප්‍රධාන තැනක් ගනියි.
වින්ඩෝස්, විස්ටා සහ ලිනක්ස් සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණත් දැන් ලබාගත හැක.
 ශ්‍රී ලංකාවේ රටේ කේතය වන .lk සඳහා සිංහල හා දෙමළ අකුරෙන් ලියන ලද වසම්නාමයන් .ලංකා (.lanka) සහ இலங்கை (.ilangei) ලෙස එකඟතාවයකට එළඹ තිබේ. lk වසම රෙජිස්තරය අන්තරජාල සේවා පහසුකම් සපයන්නන් සමග එක්ව දැන් මේවා ක්‍රියාත්මක  කරයි.
දේශීය භාෂා පිළිබඳ මෘදුකාංග හා තොරතුරු ලබා දෙන බිහිදොරක් දැන් භාෂා තුනෙන්ම පිළියෙල කර තිබේ www.siyabasa.lk , www.locallanguages.lk වැනි වේබ් අ‍ඩවිවලින් දේශිය භාෂා සම්බන්ධ තොරතුරු ලබාගත හැකි වේ.

වැඩි විස්ථර සඳහා අමතන්න ,
• දුරකථන - 011 2369099
• ෆැක්ස් - 011 2369091
• ඊ-මේල් - info@icta.lk
• වෙබ් අඩවිය - www.icta.lk
• ලිපිනය - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ.ණ නියොජිතායතනය
                 160/24, කිරිමණ්ඩල මාවත, කොළඹ 05,